තරඟ විරෝධී ලෙස කටයුතු කරමින් වෙළෙඳ ලාංඡන හා වෙළෙඳ නාමයන් භාවිතා කළ ව්‍යාපාරිකයින්ට දඩුවම්

පාරිභෝගිකයා නොමග යවමින් හා තරඟ විරෝධී ලෙස ව්‍යාපාරික කටයුතු කරනු ලබන ව්‍යාපාරික ආයතනයක් සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකදී ජලනල උපාංග සහ නාන කාමර උපාංග වෙළෙඳ ලාංඡන හා නාමයන් ව්‍යාජ ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹ 14 ප්‍රදේශයේදී 2024.12..11 දින වැටලීමක් සිදු කරන ලදි.

එහිදී පැමිණිලිකාර ආයතන විසින් බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචිය හිමිකරගෙන ඇති වෙළෙඳ ලාංඡන හා නාමයන් වන වීනස්, ප්ලම්බර් හා රයිඩා යන ජලනල උපාංග සහ නාන කාමර උපාංග කොළඹ 14, ශාන්ත ජෝසප් වීදිය අංක 180/1 පිහිටි ඒ.එන්.එම්.ට්‍රේඩින් ලංකා පුද්ගලික සමාගම විසින් ව්‍යාජ හා කූට ලෙස සකස්කර තොග වශයෙන් අලෙවි කිරීම හා අලෙවි කිරීමට ගබඩාකර තිබිම විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නා ලදි.

ඒ සම්බන්ධව අදාළ විත්තිකාර සමාගම හා එම් හබ්බුල්ලා මොහොමඩ් අස්ෆර් යන අයට විරුද්ධව 2024 දෙසැම්බර් 17 දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර එහිදී ඔවුන් වරද පිළිගැනීමෙන් පසුව ගරු අධිකරණය මගින් එම සමාගමට රු.25,000ක් හා එම් හබ්බුල්ලා මොහොමඩ් අස්ෆර් යන අයට රු.25,000 බැගින් ඊට අදාළ නඩු 3ක් සඳහා රු.150,000ක දඩ මුදලක් නියමකර අදාළ ව්‍යාජ ලෙස ආනයනය කර බෙදාහැරීමට ගබඩාකර තිබූ රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමක් සහිත එම භාණ්ඩ තොගය විනාශ කිරීමට ගරු අධිකරණය නියම කරන ලදි.

ඒ අනුව පාරිභෝගිකයන්ට භාණ්ඩ සැපයීමේ දී ව්‍යාජ නිෂ්පාදනයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ව්‍යාපාරිකයින් දැනුම්වත් කරන අතර භාණ්ඩ මිලදී ගැනීමේදී ව්‍යාජ නිෂ්පාදනයන්ට නොරැවටෙන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරික හා පාරිභෝගික ප්‍රජාව වෙත දැනුම් දෙනු ලැබේ.

තරඟවිරෝධි ලෙස පාරිභෝගිකයින් නොමග යවමින් වෙළෙඳ නාමයන් ව්‍යාජ ලෙස භාවිතා කරන වෙළෙදුන් සම්බන්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තරඟකාරිත්ව ප්‍රවර්ධන අංශය වෙත පැමිණිලි කළ හැකි අතර අදාළ විමර්ශන වලින් පසුව නඩු පැවරීමට කටයුතු කරනු ලැබේ.

හේමන්ත සමරකෝන්
සභාපති
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *