තර්ස්ටන් – ඉසිපතන 63 වන ‘සහෝදරයන්ගේ සටන’ අප්‍රේල් මුල SSC පිටියේදී!

කොළඹ ක්‍රිකට් ප්‍රජාව උද්‍යෝගයෙන් බලා සිටින තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 63 වන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙවත් ‘සහෝදරයන්ගේ සටන’ (Battle of the Brothers) එළඹෙන අප්‍රේල් මස 3, 4 සහ 5 යන දිනවල කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවට ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති දර්ශන උඩවත්ත මහතා සහ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ. දෙවිදුහල් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ක්‍රීඩාශීලීත්වය විදහාපාන මෙම තරගය මෙවරත් ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි.​මෙවර තරග වාරයේදී ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මලීෂ සඳරුවන් වෙත පැවරී ඇති අතර, තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය යොවුන් ශිල්ප විසින් දරනු ලබයි. දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම්ලත් කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වීමට සූදානමින් සිටින බැවින්, එස්.එස්.සී. පිටියේදී ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි අතිශය තීරණාත්මක තරගයක් වනු නොඅනුමානය. පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මහා තරගයක් ලෙස සැලකෙන මෙම ‘සහෝදරයන්ගේ සටන’ නැරඹීමට පැමිණෙන ලෙස දෙවිදුහල්වල ආදි සිසුන්ට සහ ක්‍රීඩා ලෝලීන්ට සංවිධායකයෝ ආරාධනා කර සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *