පුත්තලම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර ඔහුගේ වාහනය සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකු පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම, තිල්ලෙයියඩි, රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පුත්තලම අඩපනවිල්ලුව ප්‍රදේශයේ ඇළක තිබී මළ සිරුරක් සොයාගත් බවට ඊයේ (22) පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.මියගොස් ඇත්තේ 75 හැවිරිදි අබ්දුල් ලතීෆ් නැමැති අයෙකු බවත්, ඔහු පෙබරවාරි 21 වන දින සිය ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් (Hire) යාම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති බවත් පසුව අනාවරණය විය. එදින රාත්‍රී 9.30 ට පමණ අදාළ සැකකරු මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති අතර, අනතුරුව දෙදෙනාම එක්ව මෙම ගමන පිටත්ව ගොස් ඇත. ත්‍රිරෝද රථය සොරකම් කිරීමේ අරමුණින් සැකකරු විසින් රියදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති අතර, පසුව සිරුර ඇළට දමා වාහනය පැහැරගෙන පලාගොස් ඇති බවට පොලිසිය සැක කරයි.පැහැරගත් ත්‍රිරෝද රථය පුත්තලම මුල්ලෙයි නිවාස සංකීර්ණය අසල පල්ලියක් අසල දමා ගොස් තිබියදී සොයාගැනුණු අතර, වැඩිදුර පරීක්ෂණවලින් පසු සැකකරු ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී. පොලිසිය සඳහන් කරන පරිදි සැකකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු වන අතර, මුදල් සහ වාහනය ලබාගැනීම සඳහා මෙම ඝාතනය සිදුකළ බවට ඔහු පාපොච්චාරණය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.


























