සූක්ෂ්ම ලෙස ත්‍රීරෝද රථ සොරකම් කර, ඒවායේ අනන්‍යතාව වෙනස් කර අලෙවි කිරීමේ නිරත වූ මහා පරිමාණ ජාවාරමක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම, දීර්ඝ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් හඳුනාගෙන ඇත.අත්අඩංගුවට ගත් පිරිස අතර අඟුරුවැල්ල සහ කුරුවිට යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28ත් 43ත් අතර පසුවන පුද්ගලයින් සිටින බව පොලීසිය පවසයි. මොවුන් සන්තකයේ තිබී එලෙස සොරකම් කර පසුව වර්ණය, එන්ජින් අංකය සහ චැසි අංක වෙනස් කරන ලද ත්‍රීරෝද රථ 11ක් පොලිස් භාරයට ගෙන තිබේ.පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම රථ බලන්ගොඩ, බදුල්ල, බත්තරමුල්ල සහ මිරිහාන වැනි ප්‍රදේශවලින් විවිධ කාලවකවානුවලදී සොරකම් කරන ලද ඒවා බවයි. සොරකම් කිරීමෙන් පසු මෙම වාහනවල ලිපි ලේඛන සහ අංක තහඩු කූට ලෙස සකස් කර අලෙවි කිරීම මොවුන්ගේ උපක්‍රමය වී තිබේ.මෙලෙස නීති විරෝධී ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද එක් ත්‍රීරෝද රථයක් රුපියල් ලක්ෂ 12ත් 13ත් අතර මුදලකට අහිංසක ගැණුම්කරුවන්ට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. මෙය ඉතා සංවිධානාත්මකව දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකර ඇති ජාවාරමක් බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හෙට (12) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර, මෙවැනි වාහන මිලදී ගැනීමේදී වඩාත් විමසිලිමත් වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


























