බැංකොක් නුවර සිට මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී අද (10) අලුයම රේගු භාරයට ගන්නා ලදී. තායි ගුවන් සේවයට අයත් යානයකින් අද අලුයම 12.35 ට දිවයිනට පැමිණි මීගමුව, කොච්චිකඩේ ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. රේගු ජෛව විවිධත්ව ඒකකය සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ සෝදිසියකදී මෙම ජාවාරම හෙළි කර ගැනීමට හැකි විය.සැකකාර තරුණයා විසින් රැගෙන ආ ගමන් මලු තුනක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ මොන්ස්ටෙරා, ප්රිලෝඩෙන්ඩ්රම්, ඇග්ලෝනිමා සහ ඇලොකේශියා යන ඉහළ ඉල්ලුමක් පවතින විසිතුරු මල් පැළ 386ක් සොයා ගැනුණි. අදාළ බලපත්ර හෝ නිරෝධායන සහතිකවලින් තොරව මෙම මල් පැළ තොගය මෙරටට ඇතුළු කිරීමට උත්සාහ කර ඇති බව රේගු පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.මෙම මල් පැළ තොගය රේගු භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි. ජෛව විවිධත්වය සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවැනි නීතිවිරෝධී ආනයන වැළැක්වීමට රේගු නිලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බව ද වාර්තා වේ.


























