තෙල් මිල ඉහළ දැමීම නීති විරෝධීයි: පිවිතුරු හෙළ උරුමයෙන් දැඩි විරෝධයක්!

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටෙමින් පවතින පසුබිමක මෙරට ඉන්ධන මිල ඉහළ දැමීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි. පවතින මිල සූත්‍රයට අනුව අප්‍රේල් මස පළමුවැනිදාට පෙර මෙලෙස මිල සංශෝධනයක් සිදු කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවත්, රජයේ මෙම අත්තනෝමතික තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.​විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විටත් ඩොලර් 86 සීමාවෙන් පහළට ගොස් ඇති බවයි. මිල වැඩිවීම සිදුවූයේ සීමිත දින කිහිපයකට පමණක් බවත්, ලෝක වෙළඳපොළේ මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දෙන්නේ නම් අද රාත්‍රියේදීම ඉන්ධන මිල නැවත අඩු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.​මීට අමතරව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ රජයේ වගකිවයුත්තන් ජනතාව හමුවේ පරස්පර සහ අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවට හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය. රජය සතු මූල්‍ය සංචිත ප්‍රයෝජනයට ගනිමින් ජනතාවට සහන සැලසීමේ හැකියාව පවතිද්දී, එවැනි පියවරක් නොගෙන ජනතාව මත බදු බර පටවමින් පීඩාවට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔහුගේ අදහසයි.​පසුගිය කාලසීමාවේ මීට වඩා දරුණු අර්බුද හමුවේ ජනතාව ආරක්ෂා කළ බව සිහිපත් කළ ගම්මන්පිල මහතා, වත්මන් පාලකයින්ගේ අතීත ප්‍රකාශ සහ ක්‍රියාකලාපයන් සමාජ මාධ්‍ය හරහා මකා දැමූ පමණින් ඒවා ජනතාවට අමතක නොවන බවද පවසා සිටියේය. රජයේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ ඔහු, බලධාරීන් වහාම ජනතාවට සාධාරණය ඉටු කළ යුතු බව අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,043

Leave A Reply

Your email address will not be published. Required fields are marked *