තෙල් සංචිත සති කිහිපයකට සීමා වෙයි: දැඩි විදුලි කප්පාදුවක පෙරනිමිති!

ලෝක දේශපාලනික අර්බුද හමුවේ මෙරට බලශක්ති ක්ෂේත්‍රය දැඩි අවදානමකට ලක්ව ඇති බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණේ විශේෂඥයෝ අනතුරු අඟවති. පවතින තත්ත්වය මත ඉදිරියේදී අනිවාර්ය විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවත්, එසේ නොවීමට නම් ජනතාව ස්වේච්ඡාවෙන්ම විදුලිය පිරිමැසීමට කටයුතු කළ යුතු බවත් එම පෙරමුණේ සභාපති මහාචාර්ය අජිත් වීරසිංහ මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම තෙල් පෝලිම් ඇති කරමින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම වෙනුවට නිවසේ එක් විදුලි බුබුළක් හෝ නිවා දැමීමෙන් මෙම අර්බුදයට යම් සහනයක් දිය හැකි බව ඔහු අවධාරණය කළේය.​මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණය පිළිබඳව නිවැරදි දත්ත වාර්තා නොවන බව පවසන ආචාර්ය අර්ජුන පෙරේරා මහතා, දැනට පවතින තොරතුරු අනුව ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 30ක් හෝ 45ක් වැනි කෙටි කාලයකට පමණක් බව පවසයි. ලෝක වෙළඳපොළෙන් ඉන්ධන ලබාගැනීමේ අපහසුතා සහ බාල ගල් අඟුරු ආනයනය කිරීම වැනි තාක්ෂණික ගැටලු හේතුවෙන් විදුලි උත්පාදනය අර්බුදයකට ලක්ව ඇති බවත්, භෞතික විද්‍යාත්මක ගණනය කිරීම් අනුව විදුලි කප්පාදුවක් වැළැක්විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.​පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි රජය නිසි අවධානයක් යොමු නොකිරීම මෙම සමස්ත අර්බුදයට මූලික හේතුව බව සංවිධානයේ භාණ්ඩාගාරික එච්.ජී. රුවන් චාමර මහතා ප්‍රකාශ කළේය. කලෝචිත ලෙස සූර්ය බලය හෝ සුළං බලය වැනි විකල්ප වෙත යොමු වූයේ නම් විදෙස් නැව් එනතුරු බලා සිටීමට අවශ්‍ය නොවන බව පෙන්වා දෙන ඔහු, බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජය දක්වන උදාසීන පිළිවෙත දැඩි ලෙස විවේචනය කළේය.​විදුලි කප්පාදුවක් සිදු වුවහොත් එය රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සහ සමස්ත ආර්ථිකයට මාරාන්තික පහරක් වනු ඇති බවට බලශක්ති විශේෂඥයෝ බිය පළ කරති. ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමක් පවතින බැවින්, පවතින තත්ත්වය නිවැරදිව තේරුම් ගෙන කටයුතු කරන ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටී. දේශපාලන පොරොන්දු කෙසේ වෙතත්, පවතින භෞතික සාධක මත පදනම්ව බලශක්ති කළමනාකරණය ඉතා අසීරු මට්ටමක පවතින බව ඔවුන්ගේ අදහසයි.​ආර්ථික අපහසුතා මධ්‍යයේ විදුලි බිල ඉහළ දැමීමට ජනතාව අකමැති වුවද, පවතින තත්ත්වය හමුවේ විදුලිය පිරිමැසීම වගකීමක් ලෙස සැලකිය යුතු බව සංවිධානයේ ලේකම් සජිත් ජයවර්ධන මහතා පවසයි. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළද බලධාරීන් ඒ පිළිබඳව නිසි පියවරක් නොගැනීමේ විපාක දැන් රටම අත්විඳිමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,056

Leave A Reply

Your email address will not be published. Required fields are marked *