තෙලිකඩ අක්කර 13 ප්‍රදේශය සලිත කළ ද්විත්ව ඝාතනයක්: හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට

ගාල්ල, තෙලිකඩ පොලිස් වසමට අයත් මා වඩවිල, අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන සිදුවූ අමානුෂික තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සිදුව ඇති මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ එම පවුලේ මිත්තණිය සහ ඇයගේ මිණිපිරියගේ ස්වාමිපුරුෂයා බව පොලිසිය තහවුරු කරයි. මෙම ද්විත්ව ඝාතනයත් සමග ප්‍රදේශය පුරා දැඩි භීතියක් සහ කම්පනයක් පැතිර ගොස් ඇත.​ප්‍රහාරයට ලක්වූ තවත් කුඩා දැරියක් (මිණිපිරියගේ දියණිය) බරපතළ තුවාල ලබා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. පොලිස් වාර්තාවලට අනුව ඇයගේ එක් අතක් සිරුරෙන් වෙන් වන තරමටම ප්‍රහාරය දරුණු වී ඇති අතර, ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරු දැඩි උත්සාහයක නිරත වෙති. මෙම අපරාධය සිදුකර ඇත්තේ මියගිය මිත්තණියගේ අනෙක් දියණියකගේ ස්වාමිපුරුෂයා බවත්, අදාළ දියණිය මේ වන විට විදෙස්ගතව සිටින බවත් අනාවරණය වී තිබේ.​අපරාධය සිදුකළ සැකකරු 35 හැවිරිදි වියේ පසුවන උණවටුන, දලවැල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙකි. සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලායාමට උත්සාහ කළ සැකකරු තෙලිකඩ පොලීසිය විසින් වහා ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගනු ලැබීය. දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලට අනුව, කලක සිට පැවති පවුල් ආරවුලක් මෙම ඝාතන සඳහා ආසන්නතම හේතුව වී ඇති බව පොලිසිය සැක කරයි.​සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණ පවත්වා ඇති අතර, තෙලිකඩ පොලීසියේ වැඩබලන ස්ථානාධිපති හර්ෂද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.පී.ජී. සරච්චන්ද්‍ර මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි. සැකකරු ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,078

Leave A Reply

Your email address will not be published. Required fields are marked *