පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාවට එරෙහිව පැවති ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන ලීග් තරඟය අතරතුර ICC ආචාර ධර්ම සංග්‍රහයේ පළමු මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩිකා නොන්කුලෙලෙකෝ ම්ලාබාට (Nonkululeko Mlaba) අවවාද කර ඇත.“ජාත්‍යන්තර තරඟයක් අතරතුර පිතිකාරියක් දැවී යාමෙන් පසු එම පිතිකාරියට එරෙහිව අපහාසාත්මක හෝ ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි භාෂාවක්, ක්‍රියාවක් හෝ ඉරියව්වක් භාවිතා කිරීම” සම්බන්ධ ICC ආචාර ධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය ම්ලාබා විසින් උල්ලංඝනය කර ඇති බව සොයාගෙන ඇත.ඊට අමතරව, ම්ලාබාගේ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් (demerit point) එකතු කර ඇති අතර, මෙය මාස 24 ක කාලයක් තුළ ඇය කළ පළමු වරද වේ.මෙම සිදුවීම වාර්තා වූයේ ඉන්දීය ඉනිමේ 17 වැනි ඕවරයේදීය. එනම්, හරලීන් ඩියෝල් දවා ගැනීමෙන් පසු, ම්ලාබා විසින් පිතිකාරියට සමුදෙන ආකාරයට අත සෙලවීම (waved goodbye to the batter) සම්බන්ධයෙන්, එය ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි ක්‍රියාවක් ලෙස සැලකේ.ම්ලාබා මෙම වරද පිළිගෙන ඇති අතර, එමිරේට්ස් ICC ජාත්‍යන්තර තරඟ තීරක මණ්ඩලයේ ටෘඩි ඇන්ඩර්සන් (Trudy Anderson) විසින් යෝජනා කරන ලද දඬුවම පිළිගත් බැවින් විධිමත් විභාගයක් අවශ්‍ය නොවීය.පිටියේ විනිසුරුවරුන් වන ජැකලින් විලියම්ස් සහ කිම් කොට්න්, තෙවැනි විනිසුරු කැන්ඩස් ලෙ බෝඩ් සහ සිව්වන විනිසුරු සූ රෙඩ්ෆර්න් විසින් මෙම චෝදනාව එල්ල කර තිබුණි.පළමු මට්ටමේ උල්ලංඝනයන් සඳහා නිල අවවාදයක්, ක්‍රීඩිකාවකගේ තරඟ ගාස්තුවෙන් උපරිම 50% ක දඩයක් සහ එක් හෝ දෙකක් දඬුවම් ලකුණු අවම දඬුවම් ලෙස පැනවේ.