රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවති පළමු T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාව කණ්ඩායම පකිස්තානයට එරෙහිව ලකුණු 55ක විශිෂ්ට ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය පරාජය වීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 194ක් රැස් කළහ. ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 40කින් ලකුණු 60ක් ලබා ගනිමින් බලගතු ආරම්භයක් ලබා දුන් අතර, පසුව ටෝනි ඩි සෝර්සි (පන්දු 16කින් 33) සහ බ්ජෝර්න් ලින්ඩේ (පන්දු 22කින් 36) දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් විය. පකිස්තානය වෙනුවෙන් මොහොමඩ් නවාස් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් තම පන්දු යැවීමෙන් යම් තරමක අස්වැසිල්ලක් ලබා දුන්නේය.ලකුණු 195ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය පකිස්තානු කණ්ඩායමේ පිළිතුර ආරම්භයේදී සුබදායී බවක් පෙන්වුවද, ඉක්මනින්ම එය කඩා වැටුණි. සාහිබ්සාදා ෆර්හාන් (ලකුණු 24) සහ සයිම් අයියුබ් (ලකුණු 37) සාර්ථක ආරම්භයක් ලබා දුන්නද, විශාල සබඳතා ගොඩනැගීමට ඔවුන්ට නොහැකි විය. කණ්ඩායමට යළි එක් වූ බාබර් අසාම් ලකුණු නොලබාම දැවී යෑමත්, නායක සල්මන් අලි ආගාට ලකුණු 2කට සීමා වීමට සිදුවීමත් පකිස්තාන කණ්ඩායමේ පසුබෑමට හේතු විය. මොහොමඩ් නවාස් පන්දු 20කින් ලකුණු 36ක් රැස් කරමින් යම් ප්‍රතිරෝධයක් දැක්වූවද, මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් පීඩනයට යට විය.දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඉතා හොඳින් පන්දුව දෝලනය කරවමින් පකිස්තානු ඉනිම අඩපණ කළහ. ලුන්ගි න්ගිඩි, බ්ජෝර්න් ලින්ඩේ සහ බොෂ් කඩුලු 7ක් බෙදා ගනිමින් ඉනිම ආධිපත්‍යය දැරූහ. මෙහිදී ලින්ඩේ ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුණි. ඒ අනුව පකිස්තාන කණ්ඩායමට පන්දුවාර 18.1කදී සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 139ක් පමණි. මේ අතර, මෙම තරගය “පින්ක්ටෝබර්” තේමාව යටතේ පැවැත්වුණි. එහිදී පකිස්තාන ක්‍රීඩකයින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සඳහා රෝස පැහැති නිල ඇඳුමින් සැරසී සිටි අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ තරග නිලධාරීන් රෝස පැහැති රිබන් පැළඳ සිටියේය.






















