දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට…

දකුණු අප්‍රිකාව සහ වත්මන් ලෝක ශූර ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අද(31) සුදුසුකම් ලබා ගෙන තිබේ.

ඒ, මලයාසියාවේ ක්වාලාලම්පූර්හිදී අද පැවැති අවසන් පූර්ව වටයේ තරගවලදී පිළිවෙළින් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය පරාජය කරමිනි.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 105ක් රැස් කළා ය.

නායක ලුසී හැමිල්ටන් ලකුණු 18යි.

ඔස්ට්‍රේලියා මුල් පෙළ කඩුලු 5 ලකුණු 62ක් තුළ බිඳ හෙළීමට දකුණු අප්‍රිකා පන්දු යවන්න් සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුයිවා බ්‍රේ ලකුණු 36යි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඈෂ්ලි වැන් වික් ලකුණු 17ට කඩුලු 4ක් බිඳ හෙළුවාය.

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ මුල්පෙළ කඩුලු 2 ලකුණු 35කදී බිඳ වැටුණි.

ජෙමා බෝතා පන්දු 24කින් ලකුණු 37ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගිනි.

නායක කෙයිලා රෙයිනෙකේ ලකුණු 26කට දැවී ගියා ය.

ඔවුන් තරගය ජය ගත්තේ පන්දුවාර 18යි  පන්දුවක් අවසානයේදී කඩුලු 5ක් දැවී සිටියදීයි.

මේ අතර එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය වත්මන් ලෝක ශූර ඉන්දියාව කඩුලු 9කින් ජය ගෙන තිබේ.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 113ක් රැස් කළා ය.

ආරම්භක පිතිකරු ඩෙවීනා පැරන් ලකුණු 45යි.

නායක අබී නූග්‍රොව් ලකුණු 30ක් රැස් කළා ය.

ජී. කමලිනි සහ ගොන්ගඩි ට්‍රීෂා ඉන්දීය පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගුවා ය.

ට්‍රීෂා ලකුණු 35යි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ කමලිනී පන්දු 50කින් 4 පහර 8ක්ද සමගින් නොදැවී ලකුණු 56ක් රැස් කර ඇත.

ඉන්දියාව නියමිත ඉලක්කය පසු කළේ පන්දුවාර 15ක් තුළ කඩුල්ලක් දැවී සිටියදීයි.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

What's your reaction?

Related Posts

1 of 574

Leave A Reply

Your email address will not be published. Required fields are marked *