දකුණු ආසියාවේ විලාසිතා කේන්ද්‍රස්ථානය කොළඹට: 23 වන විලාසිතා සතිය ‘City of Dreams’ හිදී ඇරඹෙයි!

මාස්ටර්කාඩ් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන දකුණු ආසියාවේ දැවැන්තම විලාසිතා වේදිකාව වන කොළඹ විලාසිතා සතිය (CFW), එළඹෙන අප්‍රේල් 01 වනදා සිට 04 වනදා දක්වා කොළඹ ‘City of Dreams’ පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය. 2003 වසරේ සිට අඛණ්ඩව දශක දෙකකට වැඩි කාලයක් විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කරන මෙම වැඩසටහන මෙවර සිය 23 වන සංස්කරණය සනිටුහන් කරයි.​මෙවර සැසිය විශේෂ සන්ධිස්ථානයක් වන්නේ BRICS ජාත්‍යන්තර විලාසිතා සම්මේලනය සමඟ පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් එහි දකුණු ආසියානු සංස්කරණය ද මෙරටදී ඉදිරිපත් කරන බැවිනි. ලෝක මට්ටමේ විලාසිතා වෙළඳපොළවල් අතර නිර්මාණාත්මක පාලමක් ලෙස ක්‍රියා කරන කොළඹ විලාසිතා සතිය, ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට අවශ්‍ය මාවත විවර කර දීමට මෙහිදී කටයුතු කරයි.​ශ්‍රී ලංකාවේ භූ-උපායමාර්ගික වැදගත්කම සහ මෙරට නිර්මාණාත්මක අනන්‍යතාව ගෝලීය මට්ටමට ගෙනයාම තම අරමුණ බව CFW නිර්මාතෘ අජයි වීරසිංහ මහතා පවසයි. මෙම දැවැන්ත හවුල්කාරිත්වයන් හරහා ධාවන පථයෙන් ඔබ්බට ගිය ආර්ථික සහ වෘත්තීය අවස්ථා රැසක් විවෘත වන බවත්, ලොව දක්ෂතම නිර්මාණකරුවන් කොළඹට ආකර්ෂණය කර ගැනීමට හැකිවීම ගැන තමන් ආඩම්බර වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.​මෙවර ප්‍රදර්ශනය සඳහා නිර්මාණකරුවන් 30 කට අධික පිරිසකගේ දායකත්වය හිමි වේ. ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය වැනි කලාපීය රටවලට අමතරව දකුණු අප්‍රිකාව, චීනය සහ රුසියාව වැනි රටවල ජාත්‍යන්තර නිර්මාණකරුවන් ද මෙරට ප්‍රමුඛතම නිර්මාණකරුවන් සමඟ එක්ව ගිම්හාන විලාසිතා එකතූන් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි.​ක්ශේත්‍රයට පිවිසෙන නවක නිර්මාණකරුවන් දිරිමත් කිරීම CFW හි ප්‍රධාන අංගයකි. ඒ අනුව මෙවර නවක නිර්මාණකරුවන් 11 දෙනෙකු තේරී පත්ව ඇති අතර, ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් විශේෂ උපදේශක වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික බතික් කලාව නවීන විලාසිතා සමඟ මුසු කිරීම සඳහා ඔවුන්ව දිරිමත් කරනු ලැබීමයි.​දේශීය ශිල්පීය ක්‍රම සහ අත්කම් නිර්මාණ විලාසිතාවන්ට එක් කිරීමෙන් ශ්‍රී ලාංකික විලාසිතාවලට අනන්‍ය වූ සන්නාමයක් ලොව පුරා ගොඩනැගිය හැකි බව CFW විශ්වාස කරයි. මේ හරහා දේශීය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ ඉල්ලුමක් නිර්මාණය කිරීමට ද අපේක්ෂිතය. එමෙන්ම මෙරට බතික් කලාව ගෝලීය මට්ටමින් ප්‍රචලිත කිරීම ද මෙම උළෙලේ ප්‍රධාන අරමුණකි.​මෙවර නිල ආගන්තුක සත්කාර සහ ස්ථාන සහකරු ලෙස ‘City of Dreams’ ආයතනය කටයුතු කරන අතර, අමුත්තන් සඳහා ඉහළ පෙළේ අත්දැකීමක් ලබාදීමට ඔවුන් සූදානම්ව සිටියි. විශේෂිත ‘CFW Premium Lounge’ පහසුකම් හරහා සහභාගී වන පිරිසට සුවිශේෂී මෙනුපත් සහ පාන වර්ග ඇතුළු සුඛෝපභෝගී විලාසිතා අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව හිමිවනු ඇත.​සිනමන් හෝටල් සහ නිකේතන ජාලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කමල් මුණසිංහ මහතා සඳහන් කළේ, කොළඹ නගරය කලාපයේ ජීවන රටාව සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ ගමනේදී විලාසිතා සතිය සමඟ අත්වැල් බැඳගැනීම සුවිශේෂී බවයි. විලාසිතා, විනෝදාස්වාදය සහ ආගන්තුක සත්කාරය එකම සජීවී ගමනාන්තයකදී අත්විඳීමට මෙවර අවස්ථාව සැලසේ.

What's your reaction?

Related Posts

1 of 1,045

Leave A Reply

Your email address will not be published. Required fields are marked *