දකුණු කොරියාවේ ඩේජියොන් (Daejeon) නගරයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවක හදිසියේ ඇති වූ දරුණු ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 85 දෙනෙකු පමණ අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෝල් අගනුවර සිට කිලෝමීටර් 160ක් පමණ දුරින් පිහිටි මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළ ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර, ඉන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.ගින්නෙන් තුවාල ලැබූවන් අතරින් 35 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බවත්, ඔවුන් මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් එරටින් ලැබෙන නවතම වාර්තා සනාථ කරයි. කර්මාන්තශාලාව තුළ තිබූ රසායනික ද්‍රව්‍ය හා අමුද්‍රව්‍ය ගින්න වේගවත් වීමට බලපා ඇති බවට සැක කෙරෙන අතර, ගින්න පාලනය කිරීම සඳහා සහන සේවා කණ්ඩායම් විශාල පිරිසක් යොදවා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන පවත්වන බවත් සඳහන් වේ.
























