දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතයට පෘතුගාලයෙන් තද රීති: වයස 16ට අඩු අයට දෙමාපිය අවසරය අනිවාර්යයි

ළමුන් සහ තරුණ පිරිස් සමාජ මාධ්‍ය හා අන්තර්ජාල වේදිකා වෙත ප්‍රවිෂ්ට වීම සීමා කෙරෙන නව පනත් කෙටුම්පතක් පෘතුගාල පාර්ලිමේන්තුව විසින් පසුගිය බ්‍රහස්පතින්දා අනුමත කරන ලදී. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද මෙම නව නීතිය යටතේ, වයස අවුරුදු 16ට අඩු බාලවයස්කරුවන්ට මින් ඉදිරියට පෘතුගාලය තුළ සමාජ ජාල වෙත අසීමිතව ප්‍රවේශ වීමට අවස්ථාව හිමි නොවේ. ඒ අනුව ඉන්ස්ටග්‍රෑම් (Instagram), ටික්ටොක් (TikTok) සහ ෆේස්බුක් (Facebook) වැනි යෙදුම් භාවිත කිරීම සඳහා දෙමාපියන්ගේ පැහැදිලි සහ තහවුරු කරන ලද අවසරය අනිවාර්ය වන අතර, පරිශීලකයාගේ වයස තහවුරු කර ගැනීම සඳහා පෘතුගාලයේ ජාතික ඩිජිටල් අනන්‍යතා වේදිකාව වන ‘Digital Mobile Key’ පද්ධතිය භාවිත කළ යුතු බවට ද නව නීති මඟින් නියම කර ඇත.​පවතින නීතිය යටතේ වයස අවුරුදු 13ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වුවද, එය ක්‍රියාත්මක කිරීමේදී පැවති දුර්වලතා මෙන්ම සමාජ මාධ්‍ය සමාගම් නිසි පරිදි වයස තහවුරු නොකිරීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම දැඩි පියවර ගෙන තිබේ. සමාජ මාධ්‍ය මඟින් තරුණ පරපුරේ මානසික සෞඛ්‍යයට සහ සබැඳි ආරක්ෂාවට එල්ල වන බලපෑම් පිළිබඳව යුරෝපීය රටවල් රැසක පවතින දැඩි අවධානය මීට හේතු වී ඇත. මෙම පනත ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය, අදාළ සමාගම් නීතියට අනුගත විය යුතු ආකාරය සහ දෙමාපිය අවසරය තහවුරු කරන ක්‍රියා පටිපාටි පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තු විශේෂ කමිටු මට්ටමින් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 633

Leave A Reply

Your email address will not be published. Required fields are marked *