දැඩි රශ්මියෙන් දරුවන් ආරක්ෂා කරගන්න: දෙමාපියන්ට විශේෂ උපදෙස්

පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දරුවන් විජලනයෙන් ආරක්ෂා කර ගැනීමට දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ විශේෂඥ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ, දරුවන්ට හැකිතාක් ජලය සහ ස්වභාවික පාන වර්ග ලබා දීමට කටයුතු කළ යුතු බවයි. දරුවෙකු නිදිමත ගතිය, ආහාර රුචිය අඩුවීම හෝ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්වන්නේ නම්, වහාම ඔවුන්ගේ දියර පරිභෝජනය වැඩි කිරීමට පියවර ගත යුතුය.​උණුසුම් කාලගුණය නිසා දහඩිය බිබිලි සහ විවිධ චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, දරුවන් දිනකට අවම වශයෙන් දෙවතාවක්වත් නැස්සවිය යුතු බව වෛද්‍යවරයා උපදෙස් දෙයි. විශේෂයෙන් දරුවන්ට විනාඩි 20ක් පමණ ජලයේ රැඳී සිටීමට ඉඩ දීමෙන් මෙවැනි චර්ම රෝග වළක්වා ගත හැකිය. තවද, පාසල් ක්‍රීඩා උත්සව ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන දරුවන් ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකළහොත් ඔවුන් විජලනයට හෝ ‘සූර්ය රශ්මි කපනය’ (Heatstroke) වැනි බරපතල තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව ඔහු අනතුරු අඟවයි.​මෙම තාප කපනය මගින් හෘදය සහ මොළය වැනි වැදගත් අවයවවලට හානි සිදුවිය හැකි අතර, වලිප්පුව, සිහි නැතිවීම සහ මරණය පවා සිදුවීමට ඉඩ ඇති බැවින් දෙමාපියන් සහ භාරකරුවන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,061

Leave A Reply

Your email address will not be published. Required fields are marked *