දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් ඇද හැලීම හේතුවෙන් එම ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතී. මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 19,400 ක පමණ සීඝ්‍රතාවයකින් ජලය මුදා හැරීම සිදු කෙරේ. ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව මෙම මුදා හැරීම තවදුරටත් වැඩි වීමේ ඉඩකඩක් පවතින බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මෙම තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට අයත් වන වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ගංවතුර නිම්නවල පහත් බිම් වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එමෙන්ම, අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ද පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින්, ඉදිරි පැය 24 ක කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ද ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතී.එම නිසා, මෙම ප්‍රදේශවල පහත්බිම් හරහා වැටී ඇති මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින්, එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ එම මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන රියැදුරන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.






















