අධික ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් සැලසීම සඳහා විදුලි බිල, ඉන්ධන, ගෑස්, ඖෂධ සහ පොහොර මිල වහාම පහත දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. හම්බන්තොට ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ජනතාව රවටා බලයට පත් වූ වත්මන් ආණ්ඩුවට මේ දක්වා ජනතාව මුහුණ දෙන මූලික ගැටලුවලට සාර්ථක විසඳුම් ලබා දීමට නොහැකි වී ඇති බවයි.බඩු මිල අඩු කිරීමට රජය අසමත් වුවද, තම හිතවතුන් හරහා ගල් අඟුරු වංචාවන් ඉතාමත් කාර්යක්ෂමව සිදු කිරීමට පාලකයන් කටයුතු කර ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය. මුලින් ගල් අඟුරු ගනුදෙනුවේ ගැටලුවක් නැති බව පැවසුවද, පසුව ගල් අඟුරුවල බාල තත්ත්වය පිළිබඳව කරුණු අනාවරණය වී ඇත. මෙවැනි අක්‍රමිකතා හරහා රජය සහ ජනාධිපතිවරයා සමස්ත රට වැසියාටම විහිළු සපයමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.මෙම ගල් අඟුරු වංචාව හේතුවෙන් සිදුවන මූල්‍ය පාඩුව පාරිභෝගිකයාගෙන් අය කර නොගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවද, එහි සැබෑ බර වක්‍රව හෝ ජනතාවටම පැටවෙන බව ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. බාල ගල් අඟුරු නිසා නිසි ලෙස විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වීම හේතුවෙන්, ඒ වෙනුවට අධික පිරිවැයක් දරා ඩීසල් බලාගාර මගින් විදුලිය නිපදවීමට සිදුවන බවත්, එම වැඩිවන පිරිවැය අවසානයේ මහජනතාවටම දැරීමට සිදුවන බවත් ඔහු පැහැදිලි කළේය.රටේ ආහාර සුරක්ෂිතතාව බිඳවැටෙමින් පවතින පසුබිමක පොහොර හිඟය සහ කෘෂිකාර්මික පිරිවැය ඉහළ යාම දරුණු තත්ත්වයක් බව විපක්ෂ නායකවරයා පවසයි. පීඩනයට පත්ව සිටින දශලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අසහනය දුරු කිරීමට නම් සහන ලබා දීම හැර වෙනත් විකල්පයක් නැති බවත්, වත්මන් පාලන රටාව යටතේ සාමාන්‍ය පුරවැසියෙකුට තවදුරටත් ජීවත් වීමට නොහැකි මට්ටමට රටේ තත්ත්වය දරුණු වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.ආණ්ඩුවක ප්‍රධානතම වගකීම වන්නේ ජනතාව ජීවත් කරවීම මිස වංචාවන්ට ඉඩ දීම නොවන බව පවසන විපක්ෂ නායකවරයා, ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට සමගි ජන බලවේගය උපරිම කැපකිරීම් කරන බව ප්‍රකාශ කළේය. එබැවින් තවදුරටත් ප්‍රමාද නොවී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙස ඔහු රජයට නැවතත් බලකර සිටියේය.
























