දික්ඔය රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්: මෘත ශරීරයකට ලිංගික අපයෝජනයක් කළ බවට චෝදනා!

දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළ තිබූ තරුණියකගේ මෘත දේහයකට එම රෝහලේම සේවකයන් තිදෙනෙකු විසින් ලිංගික අපයෝජනයක් සිදු කළ බවට එල්ල වන බරපතල චෝදනාවක් මුල් කරගනිමින් ප්‍රදේශවාසීන් සහ වතු කම්කරුවන් ඊයේ (02) රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත විය. ඉකුත් සතියේ සියදිවි හානිකර ගැනීමක් හේතුවෙන් රෝහල් ගත කළ තරුණියකගේ දේහයට රාත්‍රී කාලයේදී රෝහල් කනිෂ්ඨ සේවකයන් තිදෙනෙකු ඇතුළු වී මෙලෙස අගෞරවනීය ලෙස අපයෝජනය කර ඇති බවට විරෝධතාකරුවෝ චෝදනා කරති. අදාළ දේහය මුදාහළ දිනයේම මෙම සේවකයන් තිදෙනාටම නිවාඩු ලබා දීම සහ සී.සී.ටී.වී (CCTV) දර්ශන මගින් පුද්ගලයන් තිදෙනෙකු මෘත ශරීරාගාරයට ඇතුළු වන අයුරු තහවුරු වී තිබීම හේතුවෙන් මෙම සිදුවීම පිළිබඳව දැඩි සැකයක් මතුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.​රෝහල් පරිපාලනය විසින් පවත්වනු ලබන අභ්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති බවත්, මේ සඳහා ස්වාධීන අපරාධ පරීක්ෂණයක් අවශ්‍ය බවත් විරෝධතාකරුවෝ අවධාරණය කළහ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කැඳවීමට සිදු වූ අතර, පසුව රෝහල් වෛද්‍ය අධිකාරීවරයා, පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී රෝහල් බලධාරීන් එකඟ වූයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක අභ්‍යන්තර පරීක්ෂණයට අමතරව, විධිමත් අපරාධ පරීක්ෂණයක් සඳහා සිද්ධිය සම්පූර්ණයෙන්ම පොලිසිය වෙත භාර දෙන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,034

Leave A Reply

Your email address will not be published. Required fields are marked *