‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් ගංවතුරට හසුවූ කොළඹ ආසන්න ප්‍රදේශවල එක්රැස්වී ඇති සමස්ත කසළ තොගය දින 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තිලක් හේවාවසම් මහතා පවසයි.ඒ මහතා පෙන්වා දුන්නේ කොළොන්නාව ප්‍රදේශයේ පමණක් ටොන් 8,000ක පමණ මිශ්‍ර කසළ ප්‍රමාණයක් එක්රැස්වී ඇති බවත්, එය දින දෙකක් වැනි කෙටි කාලයකින් ඉවත් කිරීමට හැකිවනු ඇති බවත්ය. ඊට අමතරව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව වැනි ප්‍රදේශවලද පිළිවෙලින් ටොන් 10,000ත්, 12,000ත් පමණ වන කසළ ප්‍රමාණයක් එකතුවී ඇති බව ඔහු සඳහන් කළේය.”මේ වන විට බස්නාහිර පළාත් අධිකාරිය විසින් දිනකට ලොරි 100ක් පමණ යොදවලා ඉතාමත් සාර්ථක මෙහෙයුමක් දියත් කරමින් පවතිනවා,” යනුවෙන් සභාපතිවරයා ප්‍රකාශ කළේය. එම මෙහෙයුම්වලට අනුව, දින 10ක් වැනි කාලයක් තුළදී මෙම සියලු කසළ ඉවත් කිරීමට ඔවුන්ට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.කෙසේ වෙතත්, තවමත් සමහර නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු සිදුවන බැවින් කසළ ජනනය අඛණ්ඩව සිදුවීම ගැටලුවක් බවද හේවාවසම් මහතා පෙන්වා දුන්නේය. “මේක ආපදාවෙන් පස්සේ ආපු ආපදාවක්” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


























