දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී ආපදාවට ලක්වූවන්ට දීමනා ගෙවීම සහ සුරක්ෂිත කඳවුරුවල වත්මන් තත්ත්වය පිළිබඳව නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කරන ලදී. විශේෂයෙන්ම වතුකරයේ ඉඩම් හිමිකම් නොමැති පිරිස් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර, ඒ සඳහා ප්‍රතිපත්තිමය විසඳුම් ලබාදීමට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය විය.ආපදා සහන වැඩපිළිවෙළ යටතේ සම්පූර්ණයෙන්ම හානියට පත් නිවාස 20,000ක් අලුතින් ඉදිකිරීමටත්, අර්ධ හානි වූ නිවාස එක්ලක්ෂ පහළොස්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමටත් රජය සැලසුම් කර තිබේ. මේ සඳහා නිවසක් ඉදිකිරීමට සුදුසු ඉඩම් ඇති පුද්ගලයන්ට රුපියල් මිලියන 5ක මූල්‍ය ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සඳහන් කරයි. මීට අමතරව නගර ආශ්‍රිතව පොදු පහසුකම් සහිත මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමටද යෝජනා වී ඇති අතර, ඉදිකිරීම් සිදු කිරීමේදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන පරිදි ආපදා අවදානමෙන් තොර ප්‍රදේශ තෝරා ගැනීමේ වැදගත්කම අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.පීඩාවට පත් ප්‍රජාවගේ කායික හා මානසික සුවතාවය වෙනුවෙන් සිවිල් සංවිධාන හරහා නිරන්තර සුබසාධන කටයුතු සිදු කිරීමටද මෙහිදී එකඟතාවය පළ විය. විශේෂයෙන්ම කාන්තාවන්, දරුවන් සහ විශේෂ අවශ්‍යතා සහිත පිරිස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම සහන සැලසීමේ ක්‍රියාවලිය වඩාත් මානුෂීයව ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පියවර ගෙන ඇත. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සිවිල් සමාජ සංවිධාන 33ක නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.























