දියතලාවේදී සිදුවූ අනතුරින් මියගිය අය අතර මිත්තණියක් හා මිණිබිරියක්

වසර 05කට පසුව ඊයේ (21) දින දියතලාව, ෆොක්ස් හිල් (නරියා කන්ද) හි පැවති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ එක් තරගයක් අතරතුර සිදුවූ අනතුරකින් 07 දෙනෙකුට දිවි අහිමි වුණා.

මෙම තරගය අතරතුර වම්පස ඉදිරියෙන්ම ධාවනය වූ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් තිබෙන අතර, දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබෙනවා.

තරගයේ පසුපසින් ධාවනය වූ තවත් මෝටර් රථයක් දකුණු පසින් පැමිණ තිබුණේ එම අවස්ථාවේදී යි.

එහිදී ධාවන පථය ආසන්නයටම පැමිණ සිටි නරඹන්නන් කලබලයට පත්ව තිබූ අතර, ඔවුන්ව මගහැර ධාවනය කිරීමට මෝටර් රථයේ රියැදුරු උත්සාහ කළ අවස්ථාවේ 160km/h ක අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරලීයාමෙන් පුද්ගලයන් පස් දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරුව අනතුරින් තුවාල ලැබූවන් 25 දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ අතර, ඉන් දෙදෙනෙකු එම රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ අතර, බරපතළ තත්ත්වයේ තුවාල ලබා සිටි තිදෙ‍නකු බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් පොලිසිය සඳහන් කළා.

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේ 17 වැනි ඉසව්ව ලෙසින් ක්‍රියාත්මක වූ SLH 2000cc ධාවන ඉසව්වේ දී මෙම අනතුර සිදුව ඇති අතර, එලෙස අනතුරට පත් ව ඇත්තේ සුබාරු ලෙගසි වර්ගයේ මෝටර් රථයක් බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත් වුණේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළ ආර්.අබේනායක, මාතර පදිංචි ගනේෂ් ජයවර්ධන, අරුණ ශාන්ත උපාලි ගමගේ සහ අශේන් හීනටිගල යන අයද, ඩයරබා හංදිය මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි උදයකුමාරි සහ 08 හැවිරිදි ධනුශිකා යන අය මෙන්ම, සීදූව ප්‍රදේශයේ පදිංචි චමින්ද නිරෝශන් යන පිරිසයි.

මියගිය අය අතර සිටින වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි උදයකුමාරි සහ 08 හැවිරිදි ධනුෂිකා යන අය මිත්තණිය හා මිණිබිරිය බව හඳුනාගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ අය අතර යුද හමුදා සේවකයන් දෙදෙනකු සිටින බවත් ඒ අය දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අනතුරින් ෆොක්ස්හිල් ධාවන තරගයේ සංවිධායකයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර සිටින බවයි.

තුවාලකරුවන් අතරින් 18 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 5 දෙනා කාන්තාවන්.

අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදුවුණා.

ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර, මෙවර එම තරගාවලිය සඳහා මෙවර විශාල ජනසහභාගීත්වයක් ද පැවැති බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් අනතුරුව මෙම තරගාවලියේ ඉදිරියට පැවැත්වීමට නියමිත සියලු තරග අවලංගු කිරීමට සංවිධායකවරු විසින් පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *