දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම බලපෑ අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 02) උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වේ. තවද, මෙම ව්‍යසනයෙන් මේ වනවිට පුද්ගලයින් 336 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615 දෙනෙකු මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවද එම වාර්තාවේ දැක්වේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 88කි. මීට අමතරව බදුල්ලෙන් මරණ 83ක්, නුවරඑළියෙන් මරණ 75ක්, කුරුණෑගලින් මරණ 52ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වශයෙන් සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.මරණවලට අමතරව, අතුරුදන් වූවන්ගේ ඉහළම සංඛ්‍යාවන්ද මෙම ප්‍රධාන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබීම කනගාටුවට කරුණකි. මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු ද, නුවරඑළියෙන් 62 දෙනෙකු ද, කෑගල්ලෙන් 48 දෙනෙකු ද, බදුල්ලෙන් 28 දෙනෙකු ද, කුරුණෑගලින් 27 දෙනෙකු ද මේ වනවිට අතුරුදන්ව ඇති බව තහවුරු වී ඇත.මෙම අතිශය දුෂ්කර අවස්ථාවේදී, ආපදාවට ලක් වූ පිරිස් සඳහා සහන සැලසීමේ සහ අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහය ලබා දීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව බලධාරීහු අවධාරණය කරති.


























