බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන පරිදි දැඩි අකුණු අනතුරු පිළිබඳ ‘ඇම්බර්’ මට්ටමේ අවවාදාත්මක නිවේදනයක් ස්වභාවික විපත් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ. ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි අතර, තාවකාලිකව හටගන්නා තද සුළං තත්ත්වයක් ද අපේක්ෂා කළ හැක.අකුණු අනතුරු මගින් සිදුවන හානි අවම කර ගැනීමට මහජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි. ඒ අනුව හැකි සෑම විටම නිවාස හෝ ආරක්ෂිත ගොඩනැගිලි තුළ රැඳී සිටින ලෙසත්, ගස් යට රැඳී සිටීමෙන් වළකින ලෙසත් උපදෙස් දෙනු ලැබේ. කුඹුරු, තේ වතු සහ ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටිය යුතු අතර, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කර ඇති උපකරණ භාවිතය සීමා කළ යුතුය. තවද, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහනවල ගමන් කිරීමෙන් වළකින ලෙසත්, ඇද වැටී ඇති ගස් සහ විදුලි රැහැන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙයි.


























