ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු මට්ටමේ වායුගෝලීය කැළඹීමක් හේතුවෙන් ජනවාරි 8 වැනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ජනවාරි 6 වැනිදා සඳහා නිකුත් කළ පුරෝකථනයට අනුව නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි අතර, විශේෂයෙන්ම ඌව පළාතේත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.මීට අමතරව, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි තද සුළං අපේක්ෂා කෙරේ. එබැවින් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


























