දිස්ත්‍රික්ක 4කට නායයෑමේ රතු නිවේදන: වහාම ඉවත් වන්නැයි දැනුම්දෙයි

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට අදාළව නායයෑමේ ඉවත් කිරීමේ නිවේදන යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. ඒ අනුව, 2026 පෙබරවාරි 23 වන දින පෙරවරු 8:30 දක්වා ක්‍රියාත්මක වන පරිදි මට්ටම 3 (රතු) යටතේ දැඩි අවදානම් නිවේදන නිකුත් කර තිබේ. පසුගිය පැය 24 තුළ අදාළ ප්‍රදේශවල වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින්, නායයෑම්, බෑවුම් කඩාවැටීම් සහ ගල් පෙරළීමේ අවදානම මඟහරවා ගැනීම සඳහා වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටී.​මෙම රතු නිවේදන මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩුදුම්බර සහ ගඟ ඉහළ කෝරළය යන ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරනායක සහ මාවනැල්ල යන ප්‍රදේශවලටත් බලපැවැත්වේ. මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගඟ කෝරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව සහ උකුවෙල යන ප්‍රදේශ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද මෙම දැඩි අවදානම් නිවේදන නිකුත් කර ඇත.​මේ අතර බදුල්ල, නුවරඑළිය, ගාල්ල, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා මට්ටම 2 (ඇම්බර්) සහ මට්ටම 1 (කහ) යටතේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වේ. විශේෂයෙන් කඳු බෑවුම්, නිම්න සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා කැපූ බෑවුම් ආශ්‍රිතව වසන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, ප්‍රාදේශීය බලධාරීන් ලබාදෙන උපදෙස් අකුරටම පිළිපදිමින් ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *