පසුගියදා (11) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පැවති අමාත්‍යාංශ හතරක 2025 අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීමේදී, යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව (Sectoral Oversight Committee) විසින් කැලණිවැලි දුම්රිය මාර්ගය සහ තඹුත්තේගම දුම්රිය ස්ථානය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳව දැඩි අසතුටක් පළ කර ඇත. බලශක්ති අමාත්‍යාංශය, වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අදාළ 2025 අයවැය යෝජනාවල ප්‍රගතිය මෙහිදී කමිටුව විසින් පරීක්ෂා කරන ලදී. පසුගිය වසරේ රුපියල් මිලියන 250ක් වෙන් කළ කැලණිවැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය අවම වීම කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර, 2025 මාර්තු මාසයේදී අයවැය මගින් අරමුදල් වෙන් කළද, සතුටුදායක ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වීම දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය පෙන්වන බව කමිටුව නිරීක්ෂණය කළේය. තවද, තඹුත්තේගම දුම්රිය ස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදල් භාවිතය සමාලෝචනය කළ කමිටුව, නිලධාරීන් විසින් ලබා දුන් තාක්ෂණික පැහැදිලි කිරීම් සම්පූර්ණයෙන්ම සෑහීමකට පත් නොවන බව පෙන්වා දුන්නේය. ව්‍යාපෘති ප්‍රමාදයන් හේතුවෙන් අවසානයේ භාවිතයට නොගත් මුදල් භාණ්ඩාගාරයට ආපසු යාම පිළිබඳව කනගාටුව පළ කළ කමිටුව, අපැහැදිලි තාක්ෂණික ප්‍රතිචාර වෙනුවට නිශ්චිත කාලසීමාවන් සහිත සැලසුම් ඉදිරිපත් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

























