ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර රැසක වායු ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පැවතිණි. ජනවාරි 27 වන දින නිකුත් කළ මෙම දත්තයන්ට අනුව වවුනියාව, නුවරඑළිය, ඇඹිලිපිටිය, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව සහ මොණරාගල යන ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය යහපත් මට්ටමක වාර්තා වී තිබුණද, ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය වෙනස් විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.විශේෂයෙන්ම යාපනය සහ පුත්තලම ඇතුළු නගර කිහිපයක වායු ගුණාත්මකභාවය ‘මධ්‍යස්ථ’ මට්ටමේ සිට ‘අහිතකර’ මට්ටම දක්වා පහත වැටිය හැකි බව පුරෝකථනය කර තිබේ. උතුරු ප්‍රදේශයෙන් හමා එන දූෂිත සුළං ප්‍රවාහයන් (transboundary conditions) හේතුවෙන් ඉදිරි දින දෙක තුන තුළ දිවයින පුරා වායුගෝලයේ අංශු මාත්‍ර ද්‍රව්‍ය (PM2.5) සාන්ද්‍රණය ඉහළ යා හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එළිමහනට යන විට හැකි සෑම විටම මුහුණු ආවරණ (face masks) පළඳින ලෙසත්, ශ්වසන අපහසුතා ඇති සංවේදී පුද්ගලයන් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් NBRO ආයතනය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා වායු ගුණාත්මක දර්ශකය අනුව, වාතයේ අඩංගු අංශු ද්‍රව්‍ය ප්‍රමාණය මත පදනම්ව එහි තත්ත්වය ‘යහපත්’ මට්ටමේ සිට ‘අතිශය අන්තරායකර’ මට්ටම දක්වා වර්ගීකරණය කරනු ලබයි.


























