දෙහිවල වෙඩි තැබීමේ දෙවන වෙඩික්කරු කොටුවේ: විදෙස් රටක සිට මෙහෙයවූ මෙහෙයුමක් හෙළිවෙයි!

පසුගිය දෙසැම්බර් 06 වනදා දෙහිවල, වේරතැන්න පාරේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ දෙවන වෙඩික්කරුවා විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ජනවාරි 23 වනදා කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 35 හැවිරිදි දෙහිවල පදිංචිකරුවෙකි. ඔහු 2013 වසරේදී හමුදා සේවයෙන් ඉවත් කරන ලද හිටපු සෙබළෙකු බවත්, අපරාධයට යොදාගත් ගිනිඅවිය දෙහිවල ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබියදී සොයාගත් බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මීට පෙර දේශීය ගිනිඅවියක් භාවිතා කළ පළමු සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.​වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ, මෙම සැකකරුම දෙසැම්බර් 30 වනදා කොහුවල ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට තුවාල සිදු කරමින් සිදුකළ මනුෂ්‍ය ඝාතන තැත් කිරීමේ සිද්ධියට ද සෘජුවම සම්බන්ධ බවයි. මෙම අපරාධ ද්විත්වයම දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රබලයෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බව පොලිසිය පවසයි. සැකකරු අද (ජනවාරි 24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

What's your reaction?

Related Posts

1 of 983

Leave A Reply

Your email address will not be published. Required fields are marked *