ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනය (IIESL) මගින් සංවිධානය කරන ලද “2026 ජාතික සමුළුව” පසුගියදා කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අභිමානවත්ව පැවැත්විණි. මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූයේ “ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා ඉංජිනේරු අධ්‍යාපනය සහ භාවිතය” යන්නයි. IIESL සභාපති ඉංජිනේරු ආනන්ද ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වූ අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ද මේ සඳහා එක්ව සිටියහ.මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ රටේ පවතින දේශපාලන ස්ථාවරභාවය තුළ ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමට මෙය කදිම අවස්ථාවක් බවයි. පසුගිය කාලයේ රට මුහුණ දුන් අස්ථාවර ආර්ථික තත්ත්වය හේතුවෙන් දක්ෂ ඉංජිනේරුවන් මෙරට හැර යාම බරපතල ගැටලුවක් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, බිඳ වැටුණු තැනින් රට යළි ගොඩනැගීමට අතිමහත් කැපවීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මානව සම්පතෙන් විදේශ රටවල් උපරිම ඵල නෙළා ගන්නා පසුබිමක, අපගේ දැනුම සහිත පිරිස රටේ සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීම රජයේ ප්‍රමුඛතාවක් බව ඔහු පැවසීය.කර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණය කිරීමේදී තාක්ෂණික දැනුම හිඟකම සහ යටිතල පහසුකම්වල පවතින දුර්වලතා ප්‍රධාන බාධක බව හඳුනාගෙන ඇත. රට කර්මාන්තීකරණය කරා මෙහෙයවීමේදී විධිමත් මාර්ග පද්ධතියක සහ දියුණු යටිතල පහසුකම්වල අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකසන අතරම, දේශීය නවෝත්පාදන කර්මාන්තකරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සහ දිරිගැන්වීම් ලබාදීමට වත්මන් රජය සූදානම් බවටද ඔහු සහතික විය.ශ්‍රී ලංකාවේ සංස්ථාගත ඉංජිනේරුවන් සහ ඉංජිනේරු රාජ්‍ය තාන්ත්‍රිකයින් නියෝජනය කරන ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන්නේ IIESL ආයතනයයි. ඉංජිනේරු දැනුම ව්‍යාප්ත කිරීම, නවෝත්පාදන දිරිගැන්වීම සහ ජාතික සංවර්ධන ක්‍රියාවලිය තුළ ඉංජිනේරුවරුන්ගේ භූමිකාව සක්‍රීය කිරීම මෙම ආයතනයේ මූලික මෙහෙවරයි. රටේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට මෙම ආයතනය දක්වන දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය.2017 අංක 4 දරණ ඉංජිනේරු සභා පනතට අනුව, ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලයේ නිල නියෝජනයක් සහිත IIESL ආයතනය, මෙරට සංස්ථාගත ඉංජිනේරුවන් සහ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් ලියාපදිංචි කිරීමේ බලයලත් ආයතනය ලෙසද කටයුතු කරයි. වෘත්තීය ප්‍රමිතීන් ආරක්ෂා කරමින් සහ දේශීය ඉංජිනේරු ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට එමගින් සිදුකරන සේවය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ගමන්මගට අත්‍යවශ්‍ය සාධකයකි.


























