දේශීය බෙහෙත් නිෂ්පාදනයේ දැවැන්ත පිම්මක්: SPMC ඉලක්කය පෙති මිලියන 4000ක්!

​ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙම වසර තුළ නව ඖෂධ වර්ග 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සූදානම් වේ. දැනටමත් ඖෂධ වර්ග 70ක් දේශීයව නිෂ්පාදනය කරන එම ආයතනය, සිය ධාරිතාව තවදුරටත් ඉහළ නංවමින් වසර අවසානය වන විට පෙති හා කරල් මිලියන 4000ක නිෂ්පාදන ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇත.​පසුගිය 2025 වසර එම සංස්ථාවට ඉතිහාසගත වසරක් වූයේ රුපියල් බිලියන 27.06ක දැවැන්ත ආදායමක් උපයා ගනිමිනි. එහිදී මෙතෙක් වාර්තා වූ ඉහළම නිෂ්පාදන මට්ටම සනිටුහන් කරමින් පෙති හා කරල් මිලියන 3625ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුන් සමත් විය. විශේෂයෙන්ම පසුගිය මාර්තු මාසය තුළ පමණක් ඖෂධ මිලියන 385ක් නිපදවීම තනි මාසයක් තුළ වාර්තා වූ ඉහළම නිෂ්පාදන ජයග්‍රහණය ලෙස සැලකේ.​රාජ්‍ය අංශයේ ඖෂධ අවශ්‍යතාවය සපුරාලීම අතින් ද SPMC ආයතනය ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කර තිබේ. පසුගිය වසරේදී වෛද්‍ය සැපයුම් අංශයෙන් ලැබුණු සියලුම ඇණවුම් කිසිදු හිඟයකින් තොරව සැපයීමට ඔවුන් පියවර ගෙන තිබුණි. මීට අමතරව, පසුගිය වසරේදී පමණක් අලුතින් නිපදවන ලද ඖෂධ වර්ග 05ක් සාර්ථකව ජනතාව අතට පත් කිරීමට ද එම සංස්ථාව කටයුතු කර ඇත.​මෙම වර්ධනය හරහා මෙරට සෞඛ්‍ය සේවයේ ඖෂධ සුරක්ෂිතතාව තහවුරු වන අතර, ආනයනික ඖෂධ වෙනුවෙන් වැය වන විදේශ විනිමය විශාල වශයෙන් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. දේශීය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම හරහා ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව ඖෂධ අතින් ස්වයංපෝෂිත කිරීම රජයේ සහ සංස්ථාවේ මූලික අරමුණයි.

What's your reaction?

Related Posts

1 of 927

Leave A Reply

Your email address will not be published. Required fields are marked *