නවීකරණය වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද සිට ජනතා අයිතියට

කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු නිම කර එහි මෙහෙයුම් කටයුතු අද (08) සිට නිල වශයෙන් ආරම්භ කර තිබේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම සංවර්ධන කටයුතු සිදු විය. මෙහි පළමු අදියර යටතේ ගොඩනැගිලි පිළිසකර කිරීම, නව තොරතුරු මධ්‍යස්ථානයක් සහ සනීපාරක්ෂක පද්ධතියක් ඇති කිරීම මෙන්ම බස් රථ ගාල් කිරීමේ පරිශ්‍රය විධිමත් කිරීම ද නිම කර ඇත.​මෙම නවීකරණය කරන ලද මධ්‍යස්ථානය මහල් තුනකින් සමන්විත වන අතර, බිම් මහල බස් රථ මෙහෙයුම් සඳහාත්, දෙවන මහල රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විවේකාගාර සඳහාත් වෙන් කර තිබේ. තෙවන මහල පරිපාලන සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සඳහා භාවිත කිරීමට නියමිතය. මෙමගින් මගී ජනතාවට මෙන්ම ප්‍රවාහන සේවකයන්ට ද වඩාත් පහසු සහ විධිමත් සේවාවක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.​එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා හෙට (09) සිට මෙම බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ සඳහා අතිරේක බස් රථ 1500ක් පමණ යොදවා ඇති අතර, හැටන්, බදුල්ල, මහනුවර, යාපනය සහ ත්‍රිකුණාමලය ඇතුළු දුර බැහැර ප්‍රදේශ රැසක් කරා බස් රථ ධාවනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *