එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් සංගමයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය දේශනය අවලංගු කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේ වත්මන් රජයේ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මතවාදයන් දැන් එක හා සමාන බවයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළද, එංගලන්තය, අනෙකුත් යුරෝපීය රටවල් සහ කැනඩාව වැනි රටවල ක්‍රියාත්මක වන එම ඩයස්පෝරා ජාලය තවමත් මතවාදීව ක්‍රියාකාරී වෙමින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. “අපි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මිලිටරිමය වශයෙන් පරාජය කළා, නමුත් මතවාදීව ඩයස්පෝරාව තවමත් ක්‍රියාත්මකයි,” යනුවෙන් පැවසූ ඔහු එම මතවාදයට සහය දක්වන පිරිසක් තවමත් සිටින බවද පෙන්වා දුන්නේය.මෑතකදී ජනාධිපතිවරයා යාපනයේ කළ සංචාරයකදී, “දකුණේ බෞද්ධයන්ට සිල් සමාදන් වීම සඳහා අනුරාධපුරය හරහා යාමට පවා නොහැකි වූ බවට” කළ ප්‍රකාශය උපුටා දක්වමින් රාජපක්ෂ මහතා රජයේ මතවාදී ගමන් මඟ පිළිබඳව ප්‍රශ්න කළේය. මෙරට ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශ සිදු කරද්දී, ශ්‍රී ලංකාවේ ජාතික මතවාදය නියෝජනය කරමින් බ්‍රිතාන්‍යයට යන තමන්ට එහි නොපැමිණෙන ලෙස එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පැවසීම පිළිගත හැකිදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය. නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස අගදී බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් යන සංගම් දෙකෙහිම දේශන පැවැත්වීම සඳහා ආරාධනා ලැබී තිබුණි.කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) ඇතුළු ඩයස්පෝරා කණ්ඩායම් කිහිපයක් ඔහුගේ සහභාගීත්වයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර මෙම උත්සවය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියහ. මෙම විරෝධතා සහ එල්ල වූ දැඩි පීඩනය හමුවේ කේම්බ්‍රිජ් සංගමයේ දේශනය අවලංගු කිරීමට සංවිධායකයින් අවසානයේ තීරණය කර ඇත.


























