පවතින අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ අවදානමක් මත උඩදුම්බර, බඹරබැද්ද ප්‍රදේශයේ පවුල් 40ක් ආරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි. මීට අමතරව මාවනැල්ල, කෝවිල්කන්දේ පවුල් දෙකක් සහ මාතලේ, කළුගල්තැන්න ප්‍රදේශයේ පවුල් පහක් ද මෙලෙස ඉවත් කර තිබේ. මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයත් සමඟ යටිනුවර, දොළුව, උඩදුම්බර සහ ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කළ ‘රතු’ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ද වැසී ඇති අතර, ගොහාගොඩ සහ හල්ලොළුව අතර පේරාදෙණිය මාර්ගය සහ මුරුතලාව-ගන්නෝරුව මාර්ගය ගල් පෙරළීම හේතුවෙන් වසා දමා ඇත. එමෙන්ම පැණිදෙණිය ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා පැණිදෙණිය සිට දවුලගල දක්වා මාර්ගය ද ගමනාගමනයට බාධා පැමිණ තිබේ.


























