විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා අතින් ක්‍රියා කරන ඇවිදීමේ යන්ත්‍රයක් (Manual Treadmill) මත එක දිගට පැය 48ක් ඇවිදිමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමේ අභියෝගය අද (2026 මාර්තු 20) පෙරවරුවේ ආරම්භ කළේය. කොළඹ නාවික අනුකණ්ඩයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාර පරිශ්‍රයේදී මෙම ඓතිහාසික ගිනස් වාර්තා උත්සාහය ආරම්භ වූයේ උදෑසන 9.00 ටය. ශ්‍රී ලාංකිකයෙකු ලෙස ජාත්‍යන්තර අවධානය දිනාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී ඉසව්ව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ ආශිර්වාදය ඇතිව සංවිධානය කර තිබේ.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සහභාගී වූහ. රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම අභියෝගය ඇරඹුණු අතර, එය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු වෛද්‍ය හා තාක්ෂණික පහසුකම් එම ස්ථානයේම සලසා ඇත. ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ඒමට සැරසෙන මෙම ජ්‍යෙෂ්ඨ නාවික විරුවාගේ ධෛර්යවන්ත උත්සාහය පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුම් හිමිව තිබේ.
























