නීත්‍යානුකූල නොවන අයුරින් එකලස් කරන ලද සුඛෝපභෝගී වාහන 20ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය සමත්ව තිබේ. කඩවත, ගම්පහ සහ ජාඇල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සන්තකයේ තිබී මෝටර් රථ, ජීප් රථ, වෑන් සහ යතුරුපැදි ඇතුළු වාහන රැසක් පොලිස් භාරයට ගෙන ඇත. මීගහවත්ත සහ මොනරාගල වැනි ප්‍රදේශවල සඟවා තිබියදී සොයාගත් මෙම ජාලයට සම්බන්ධ තවත් වාහන 40ක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී තිබීම විශේෂත්වයකි.මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම වාහන සංවිධානාත්මක අපරාධ සඳහා යොදාගෙන ඇති අතර, ඒවා එකලස් කිරීමේ කටයුතුවලට ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ සහය ද ලැබී ඇති බවයි. අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම මහා පරිමාණ ජාවාරම පිටුපස සිටින සෙසු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මේ අතර, තමන් සතු රථ වාහනයක් සොරකම් කර හෝ අස්ථානගත වී ඇත්නම්, ඒ පිළිබඳ විමසීම් සඳහා 0112947780 යන දුරකථන අංකය ඔස්සේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය සම්බන්ධ කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. නීතිවිරෝධී ලෙස වාහන ලියාපදිංචි කිරීමේ සහ එකලස් කිරීමේ ජාවාරම් මැඩලීමට ජනතාවගේ සහයෝගය ද මෙහිදී බලාපොරොත්තු වේ.




















