නීති විරෝධී ඔසුසැල් 3කට ලක්ෂ 10කට ආසන්න දඩයක්!

ඖෂධ නියාමන අධිකාරියේ නීති රීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය පෞද්ගලික ඔසුසැල් තුනකට රුපියල් 950,000ක දැවැන්ත දඩ මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කර තිබේ. ගල්ගමුව, නිකවැරටිය සහ පිලැස්ස යන මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ මෙම නඩු විභාග වූ අතර, වලංගු බලපත්‍ර නොමැතිව ව්‍යාපාර පවත්වාගෙන යාම, සුදුසුකම් ලත් ඖෂධවේදියෙකු සේවයේ නොයෙදවීම සහ වෛද්‍ය වට්ටෝරු රහිතව ඖෂධ අලෙවි කිරීම යන චෝදනා මත මෙම දඩ මුදල් නියම වී ඇත.​මෙහිදී වැඩිම දඩ මුදල වන රුපියල් ලක්ෂ පහක මුදලක් අඹකොටේ, තල්ගස්පිටිය ප්‍රදේශයේ පිහිටි ඔසුසැලකට නියම කර ඇති අතර, නිකවැරටිය ප්‍රදේශයේ ඔසුසැලකට රුපියල් ලක්ෂ තුනක දඩයක් නියම විය. මීට අමතරව ගල්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනෙක් ඔසුසැලට අධිකරණය විසින් රුපියල් 150,000ක දඩයක් නියම කළේ අදාළ සියලු චෝදනාවන්ට විත්තිකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුවය.​මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන පරිදි ඖෂධ අලෙවි කරන මෙවැනි ස්ථාන සොයා වැටලීම් දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ප්‍රමිතියෙන් තොරව ක්‍රියාත්මක වන ඔසුසැල් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද දන්වා සිටියි. නීති විරෝධී ලෙස ඖෂධ අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම හරහා පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම අධිකරණ ක්‍රියාමාර්ගවල මූලික අරමුණ වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 969

Leave A Reply

Your email address will not be published. Required fields are marked *