දකුණු අප්‍රිකාවෙන් නොරොච්චෝලයි බලාගාරය සඳහා ආනයනය කරන ලද නවවන ගල්අඟුරු නැව් තොගය ද ප්‍රමිතියෙන් තොර බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. මීට පෙර ගෙනෙන ලද නැව් තොග අටක්ම බාල වර්ගයේ ඒවා බවට සාක්ෂි සහිතව තහවුරු වී ඇති බවත්, නවතම දත්ත මගින් මෙම නවතම තොගය සම්බන්ධයෙන් ද එවැනිම ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. හෝමාගම ශ්‍රී කල්‍යාණධර්ම අභිනවාරාම විහාරස්ථානයේ පැවැති පුණ්‍ය උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.මෙම ගල්අඟුරු භාවිතයේදී එක් විදුලි ඒකකයක් උත්පාදනය කිරීමට වැය වන ප්‍රමාණය සහ දහන වාර්තාවල පවතින දත්ත අනුව මෙම අක්‍රමිකතාව පැහැදිලි වන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මෙගාවොට් 900ක ධාරිතාවයකින් යුත් නොරොච්චෝලයි බලාගාරයේ ඒකක තුනෙන් මෙගාවොට් 300 බැගින් උත්පාදනය විය යුතු වුවද, දකුණු අප්‍රිකානු ගල්අඟුරු භාවිතා කරන පළමු ඒකකය මෙගාවොට් 250ක් සහ තුන්වන ඒකකය මෙගාවොට් 275ක් පමණක් උත්පාදනය කරන බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, රුසියාවෙන් ආනයනය කරන ලද උසස් ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු භාවිතා කරන දෙවන ඒකකය උපරිම ධාරිතාවය වන මෙගාවොට් 300ම උත්පාදනය කරන බව ඔහු පෙන්වා දුන්නේය.වත්මන් රජය යටතේ දකුණු අප්‍රිකාවෙන් ගල්අඟුරු නැව් 25ත් 27ත් අතර ප්‍රමාණයක් ආනයනය කර ඇති බවත්, එම සැපයුම් බාල මට්ටමේ පවතින බවට දැනටමත් සාක්ෂි ලැබී ඇති බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. මෙම ප්‍රසම්පාදන සහ සැපයුම් ක්‍රියාවලිය තුළ බරපතළ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා, මේ හේතුවෙන් රටට සහ විදුලි උත්පාදන පද්ධතියට විශාල හානියක් සිදුවන බව ද වැඩිදුරටත් කියා සිටියේය.


























