නොරොච්චෝල බලාගාරය සඳහා බාල ගල්අඟුරු භාවිත කිරීම නිසා සිදුවූ පාඩුව විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා පාරිභෝගිකයන් මත පැටවීමට රජය උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් චෝදනා කරයි. පසුගිය ඉරිදා (15) දින බලාගාරයේ ජනන ධාරිතාව මෙගාවොට් 810 ක් විය යුතු වුවද, බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් උත්පාදනය කර ඇත්තේ මෙගාවොට් 678 ක් වැනි අඩු ප්‍රමාණයක් බව ඔහු පෙන්වා දෙයි. මෙලෙස ගල්අඟුරු බලාගාරවල ධාරිතාව අඩුවන විට ඉන්ධන මගින් විදුලිය නිපදවීමට සිදුවන බවත්, ඒ සඳහා යන අධික පිරිවැය පියවා ගැනීමට රජය සූදානම් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.මධ්‍යම පෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය පලිහක් කරගනිමින් මෙම ගාස්තු වැඩි කිරීම සාධාරණීකරණය කිරීමට රජය උත්සාහ කරන බව පවසන විපක්ෂ නායකවරයා, මෙහි සැබෑ බර විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 75 කට දැරීමට සිදුවන බවට අනතුරු අඟවයි. බාල ගල්අඟුරු භාවිතය පිළිබඳ සත්‍යය රටට හෙළි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ඔහු, විදුලි ගාස්තු වැඩිකිරීමට පියවර ගතහොත් ඊට එරෙහිව ජනතාව සමග එක්ව දැඩි විරෝධතාවල නිරත වන බවද අවධාරණය කළේය.


























