පරණ කෝන්තර අමතකයි: සජබ සහ එජාප පොදු ජන මාවතක එක්වන ලකුණු!

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 84 වන ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ මහවැලි කේන්ද්‍රය අසල පැවති උපහාර උළෙල, මෙරට දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත් විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටීම විශේෂත්වයකි. බෙදී වෙන්ව සිටි කණ්ඩායම් පොදු අරමුණක් වෙනුවෙන් එකම වේදිකාවක පෙළගැසීම දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ.​මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, ගාමිණී දිසානායකයන් එදා වසර 30ක මහවැලි ව්‍යාපෘතිය වසර 6කින් නිම කළේ හුදු දක්ෂිණාංශික න්‍යායකින් නොව, ජනතාවාදී පොදු ජන ප්‍රතිපත්තියක් මත පිහිටා බවයි. අන්තවාදී වාමාංශික හෝ දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතික්ෂේප කළ එම උදාර නායකයාගේ මඟ යමින්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ වූ “පොදු ජන න්‍යායක්” ඔස්සේ නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මුදලට පක්ෂ පාවා දෙන “ඔලුගෙඩි මාරු කිරීමේ” දේශපාලනය අවසන් කළ යුතු බවද ඔහු පවසා සිටියේය.​හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවා තිබූ විශේෂ පණිවිඩය රුවන් විජේවර්ධන මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර, එහිදී මහවැලි ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් දිනා දීම වෙනුවෙන් ගාමිණී දිසානායකයන් කළ මෙහෙවර ඇගයීමට ලක් කර තිබුණි. හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ, 2020 මැතිවරණයෙන් පසු දෙපාර්ශවයම දේශපාලනිකව යම් පසුබෑමකට ලක් වූ බවයි. වර්තමානයේ පවතින විදුලි අර්බුදය හමුවේ වුවද රටට ආලෝකය ලැබෙන්නේ එදා ඉදිකළ ජලවිදුලි බලාගාර නිසා බව ඔහු සිහිපත් කළේය.​උත්සවය අවසානයේ නවීන් දිසානායක මහතා කළ විශේෂ ඉල්ලීම වූයේ, පැරණි අමනාපකම් සහ කෝන්තර පසෙක ලා සජබ සහ එජාපය අතර පවතින මතවාදී සමානකම් මත පදනම්ව යළි එක්විය යුතු බවයි. දේශපාලනයට වඩා මිත්‍රත්වය පෙරදැරි කරගෙන, බෙදී වෙන්ව සිටි කණ්ඩායම් පොදු ජනතාව ශක්තිමත් කරන නව කඳවුරක් වටා රොක් වීමේ අවශ්‍යතාවය මෙම උපහාර උළෙලේදී දැඩිව අවධාරණය කෙරුණි.

What's your reaction?

Related Posts

1 of 1,059

Leave A Reply

Your email address will not be published. Required fields are marked *