නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර, එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මුලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බල පත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් ඒ වෙනුවෙන් සිදු කරන කැපවීම වෙනුවෙන් සභාපතිවරයා ඔවුන් වෙත සිය ස්තුතිය පළ කළේය. තවද ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් අදාළ මුද්‍රණ යන්ත්‍ර ලබා ගැනීමෙන් පසු යාපනයේ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත් ප්‍රාදේශීය කාර්යාල වල ගමන් බලපත්‍ර නිකුත් කිරීම දෙගුණ කරන බවත් කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.