ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම අතිශය ජනප්‍රිය ගී පද රචකයෙකු වූ චන්ද්‍රසේන තලංගම මහතා වයස අවුරුදු 71ක්ව සිටියදී ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. 1944 වසරේ තලංගම ප්‍රදේශයේ උපත ලද ඒ මහතා, 1980 වසරේදී ‘තලංගම චන්ද්‍රසේන’ නමින් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ අතර පසුව සංගීත ක්ෂේත්රය තුළ ‘චන්ද්‍රසේන තලංගම’ යන නාමයෙන් මහත් ප්‍රසිද්ධියට පත් විය. දශක ගණනාවක් පුරා සිය ජීවන අත්දැකීම් අසුරෙන් ඔහු ලියූ ගී පද රචනා මාධ්‍ය ලේඛන අතර සැඟවී තිබුණද, එම නිර්මාණවලට නව ජීවයක් ලබාදීමට සංගීතවේදී චරිත අතලගේ මූලිකත්වය ගත්තේය.ඔහුගේ කුලුඳුල් ගීතය වූ ‘සංසාරයේ මා’ 2017 වසරේදී එළිදැක්වුණු අතර, එය ඔහුගේ කලා ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් විය. එතැන් පටන් ඔහු ලියූ ගී පද ලාංකේය තාරුණ්‍යය අතර දැඩි ලෙස වැළඳ ගැනුණි. චරිත අතලගේ සංගීතවත් කළ ‘කුවේණි’, ‘දුර ආකාහේ’, ‘නැවුම් කළේ’, ‘ඩෝලේ’ සහ ‘දුවේ’ මෙන්ම රිද්ම වීරවර්ධනගේ ‘සොයා ආවා’ සහ ‘නාඩගම් ගීය’, සුපුන් පෙරේරාගේ ‘රාධාවනී’ වැනි නිර්මාණ ඒ අතර ප්රමුඛ වේ. හුදු වචන මාලාවන්ට එහා ගිය ගැඹුරු අරුත් සහිත සහ ප්රශස්ත ගීත කලාවක් තරුණ පරපුර වෙත හඳුන්වා දීමට ඔහු දැක්වූ දායකත්වය අතිමහත්ය. දිවියේ සැඳෑ සමයේදී සිය සිහිනය සැබෑ කරගනිමින් නූතන සිංහල සංගීතයට නව මානයක් එක් කළ ඔහුගේ නික්මයාම මෙරට කලා ක්ෂේත්රයට පිරිමැසිය නොහැකි පාඩුවකි.


























