ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ අසල්වැසි රටක් බවට හිටපු ජනපති මෛත්‍රී සී. අයි. ඩී. යට කියයි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු අසල්වැසි රටක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනාවරණ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

2019 වසරේ පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය 22 වැනිදා මහනුවරදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර පසුදින ඔහු පැවසුවේ තවත් පාර්ශ්වයකින් ලද තොරතුරක් මත එම ප්‍රකාශය කළ බවයි.

කෙසේ වෙතත් ලැබුණු පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 25 වැනිදා පැය පහමාරකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන එම ප්‍රකාශය කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස මෛත්‍රිපාල සිරිසේන එහිදි අනාවරණ කර ඇත්තේ අසල්වැසි රටක් බවයි.

තමන් මෑතකදී තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් තමන්ට එය පැවසූ බවද මෛත්‍රිපාල සිරිසේන හෙළිකර ඇතැයි අනාවරණ වනවා.

ඒ අනුව ඔහුගේ මෙම ප්‍රකාශයේ සත්‍යතාවය තහවුරු කරගැනීම සඳහා එම උත්සවයට අදාළ සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *