”දිට්වා” කුණාටු ව්‍යසනය හේතුවෙන් අවතැන් වූ පාසල් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සෑම පුරවැසියෙකුම උපරිම දායකත්වය ලබා දිය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි. එම සන්ධානයේ පස්වැනි සංවත්සරයට සමගාමීව කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති “ප්‍රාණ” ප්‍රජා සත්කාරක වැඩසටහනේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. දැනට බොහෝ පාර්ශවයන්ට අමතක වී ඇති මෙම දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා කෙරෙහි බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.වැලිසර ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යායතනයේ (IIHS) අනුග්‍රහය ඇතිව සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී විපතට පත් දරුවන් වෙනුවෙන් පොත්පත් බෙදාදීම සහ පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීම සිදු විය. දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන් වෙනුවෙන් ශක්තිමත් හෙට දවසක් නිර්මාණය කිරීම වැඩිහිටි ප්‍රජාවගේ වගකීමක් බව වෛද්‍ය චමල් සංජීව මහතා මෙහිදී සිහිපත් කළේය. මෙය හුදෙක් ආධාර බෙදාදීමක් නොව, සමාජ ආයෝජනයක් ලෙස සැලකිය යුතු බව ඔහුගේ අදහසයි.වෛද්‍ය චාල්ස් නුගවෙල, උදේනි දිසානායක සහ නිහාල් ගජසිංහ යන මහත්වරුන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් හා වෘත්තීයවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය, ව්‍යසනයෙන් බැටකෑ දරු පරපුරට මානසික හා භෞතික ශක්තියක් සැපයූ අවස්ථාවක් විය. පවතින අවාසනාවන්ත තත්ත්වයන් මගහැර දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.





















