පාකිස්ථානයේ ගැහැණු දරුවන්ගේ ඉරණම නරක අතට

පාකිස්ථානයේ වෙසෙන කාන්තාවන්ගේ හා ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවධානය යොමු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, පකිස්ථානයේ සුළුතර ප්‍රජාවන්ට අයත් තරුණියන්ට සහ ගැහැණු ළමයින්ට අඛණ්ඩව රැකවරණයක් නොමැතිකම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය කණ්ස්සල්ල පළ කර ඇති බවයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, පාකිස්ථානය තුළ සිටින ක්‍රිස්තියානි සහ හින්දු ගැහැණු ළමයින් බලහත්කාරයෙන් ආගමට හැරවීම, පැහැරගැනීම්, ජාවාරම්, සහ බාලවයස්කාර හා බලහත්කාර විවාහ, ගෘහස්ථ වහල්භාවය සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට විශේෂයෙන් ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

ඊට හේතුව ලෙස එම මාධ්‍ය වාර්තා කරන්නේ, පාකිස්ථානයේ පවතින ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය මේ සඳහා ඍජුව බලපා ඇති බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් කණ්ඩායමක් පවසන්නේ පාකිස්ථානයේ වෙසෙන ආගමික සුළුතර ප්‍රජාවන්ට අයත් තරුණියන් සහ ගැහැණු ළමයින් මෙවැනි දරුණු මානව හිමිකම් කඩකිරීම්වලට නිරාවරණය වීම සහ එවැනි අපරාධවලට දඬුවම් නොලැබීම තවදුරටත් ඉවසා සිටීමට හෝ සාධාරණීකරණය කිරීමට නොහැකි බවයි.

එමෙන් ම සුළුතරය නියෝජනය කරන ගැහැණු ළමයින්ගේ බලහත්කාර විවාහ සහ ආගමට හැරවීම අධිකරණය විසින් වලංගු කිරිම සම්බන්ධයෙන් ද එම විශේෂඥයින් කනස්සල්ල පළ කර තිබෙනවා.

තව ද වින්දිතයන් ඔවුන්ගේ දෙමාපියන් වෙත ආපසු ලබා දීමට ඉඩ නොදී ඔවුන් පැහැරගෙන ගිය අය ළඟ තබා ගැනීම සාධාරණීකරණය කිරීමට බොහෝ විට ආගමික නීතිය ක්‍රියාත්මක කරන බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේ අතර ප්‍රේම සබඳතා මත සිදු කළ විවාහ බව පවසමින් පොලිසිය අපරාධ බැහැර කිරීමත් සමඟ අපරාධකරුවන් බොහෝ විට වගවීමෙන් ගැලවී සිටින බවත් එම විශේෂඥයින් පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *