පාවෙන බෝතලයේ තිබු ද්‍රාවනය බිව් නිසා මියගිය ගනන 4 දක්වා ඉහලට

සිව්දෙනෙකු මියගිය තංගල්ලේ ධීවර යාත්‍රාව ගොඩබිමට යාත්‍රා කිරීම අරඹයි

ගැඹුරු මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ කිසියම් ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කිරීමේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ, තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවයි.

එම පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කණ්ඩායමක් අවශ්‍ය ප්‍රතිකාර සඳහා විජයබාහු නෞකාවෙන් ඊයේ පස්වරුවේ පිටත්ව ගොස් තිබෙනවා.

වයස අවුරුදු 42ක් 56ත් අතර අම්බලන්තොට, පල්ලිකකුඩාව, බෙලිඅත්ත, මාතර ප්‍රදේශ වල පදිංචි ධීවරයින් 6 දෙනෙකු ඩෙවෝන් 5 නැමති යාත්‍රාවෙන් පසුගිය 4 වනදා තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණා.

ඔවුන් තංගල්ල වෙරළට නාවික සැතපුම් 350ක දුරකදී මුහුදු ජලයේ පාවෙමින් තිබූ බෝතලයක් දැක එය රැගෙන මත්පැන් යැයි සිතා පානය කර ඇති බව සඳහන්.

එහි තිබූ ද්‍රාවනය අදාළ යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනාම පානය කර තිබු බවටයි වාර්තා වුණේ.

පසුව මොවුන් විවිධ සංකූලතාවන්ට ලක්ව තිබුණා. එහිදී මෙම ධීවරයන් පිරිස කටයුතු කර තිබුණේ අදාළ සිද්ධිය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දකුණු වෙරළ තීරයේ පිහිටි මධ්‍යස්ථානයකට දැනුම්දීමටයි.

පසුව නාවික හමුදාව දැනුවත් කිරීමෙන් පසු මෙම ධීවරයන් පිරිස ගමන් ගත් යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරමින් තිබූ වෙනත් ධීවර යාත්‍රාද දැනුවත් කර තිබුණා.

මේ අතර මෙම යාත්‍රාව කඩිනමින් ගොඩබිමට රැගෙන එන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් ඇතුලු පිරිසක් ඊයේ පස්වරුවේ විරෝධතාවක ද නිරත වුණා.

ඒ හේතුවෙන් තංගල්ල මාතර ප්‍රධාන මාර්ගය පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් අවහිර වූ බවයි පොලිසිය කියා සිටියේ. එහිදී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගත්තා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත කියා සිටියේ ධීවරයන් පිරිස මියගිය යාත්‍රාව යළි දිවයිනට රැගෙන ඒමේදී එය කාර්මික දෝෂයකටද ලක්ව ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *