පාසල්වල මුදල් එකතු කිරීම නතර කරන්නැයි ලංකා ගුරු සංගමයෙන් දැඩි බලපෑම්

පාසල්වල මුදල් එකතු කිරීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ නිකුත් කළද, තවමත් විවිධ ක්‍රම ඔස්සේ දෙමාපියන්ගෙන් මුදල් අය කිරීම දිගින් දිගටම සිදුවන බව ලංකා ගුරු සංගමය පවසයි. මෙය වත්මන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දෙමාපියන් දැඩි පීඩනයකට පත් කරන “කණගාටුදායක තත්ත්වයක්” බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙයි. හුදු ප්‍රකාශ නිකුත් කරනවා වෙනුවට, මුදල් එකතු කිරීම වහාම තහනම් කරමින් නිල චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස සංගමය රජයෙන් ඉල්ලා සිටී.​ගුරු සංගමය පෙන්වා දෙන්නේ 5/2015 දරන චක්‍රලේඛය අවභාවිත කරමින්, පාසල් නඩත්තු කටයුතු සඳහා යැයි පවසමින් සිසුන්ගෙන් නියමිත මුදලක් අය කිරීම දැනටමත් සිදුවන බවයි. මීට අමතරව, පන්ති මට්ටමින් පිහිටුවා ගත් දෙමාපිය කණ්ඩායම් හරහා පන්ති කාමර අලුත්වැඩියාව, පින්තාරු කිරීම, ස්මාර්ට් පුවරු මිලදී ගැනීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ උපකරණ ලබා ගැනීම වැනි විවිධ අවශ්‍යතා සඳහා “නව ක්‍රමවේද” ඔස්සේ මුදල් එකතු කරන බවට ද චෝදනා එල්ල වේ. 2026 වසරේ මේ දක්වා කාලය තුළ ද බොහෝ පාසල්වල මෙවැනි අනිසි මුදල් එකතු කිරීම් සිදුවන බැවින් මේ සඳහා වහාම මැදිහත් විය යුතු බව සංගමය අවධාරණය කරයි.​එමෙන්ම, ප්‍රමුඛ පෙළේ පාසල් රැසක් බැංකුවල ස්ථාවර තැන්පතු ලෙස විශාල මුදලක් පවත්වාගෙන යන අතර, එම මුදල් ශිෂ්‍ය සුභසාධනය සඳහා යොදවන්නේ නැත්තේ ඇයිද යන්න ගුරු සංගමය ප්‍රශ්න කරයි. පාසල් සංවර්ධන සමිති ගිණුම්වලට පරිබාහිරව විවිධ නම්වලින් ගිණුම් පවත්වාගෙන යමින් විගණනයකින් තොරව මුදල් රැස් කිරීමේ නැඹුරුවක් පවතින බවත්, වහාම 5/2015 චක්‍රලේඛය අහෝසි කර නීතිවිරෝධී මුදල් එකතු කිරීම් වැළැක්වීමට නව උපදෙස් මාලාවක් නිකුත් කළ යුතු බවත් ලංකා ගුරු සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *