පාසල් පද්ධතිය තුළ විවිධ උත්සව සහ සැමරුම් සංවිධානය කිරීමේදී දෙමාපියන් මත දැඩි මූල්‍ය පීඩනයක් එල්ල වන බවට ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඇතැම් පාසල් බලධාරීන් මීට පෙර ලබා දී තිබූ උපදෙස් නොසලකා හරිමින්, අධික පිරිවැයක් දරමින් උත්සව පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව ඇත.නව උපදෙස් මාලාවට අනුව, මින් ඉදිරියට පාසල් මට්ටමින් පවත්වනු ලබන සියලුම උත්සව සහ වැඩසටහන් ඉතාමත් චාම් ලෙසත්, අවම වියදමකින් යුක්තවත් සංවිධානය කළ යුතුය. විශේෂයෙන්ම වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ කිසිදු අයුරකින් දෙමාපියන් වෙත අමතර වැය බරක් පැටවෙන අන්දමේ වැඩසටහන් සැලසුම් නොකිරීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බව එහි අවධාරණය කර ඇත.තවද, පාසල් මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති 54/2023 චක්‍රලේඛය සහ අනෙකුත් අදාළ මූල්‍ය රෙගුලාසිවලට අනුගතව කටයුතු කිරීම අනිවාර්ය කර තිබේ. මූල්‍ය විනය සුරකිමින් සහ සිසුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ සුභසාධනය ප්‍රමුඛ කොට සලකමින් මෙම කටයුතු සිදු කිරීමට සියලුම අධ්‍යාපන බලධාරීන් ක්‍රියා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.






















