පාසල් මොඩියුලවලින් වෙබ් සබැඳි ඉවතට: අගමැතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

​දෙවන සහ තෙවන පාසල් වාර සඳහා මොඩියුල සකස් කිරීමේදී, මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියක් සඳහා වෙබ් අඩවි සබැඳි (web links) ඇතුළත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව ඇය සඳහන් කළාය. දැනට මෙම මොඩියුලවල ඇතුළත් කර ඇත්තේ කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවන වෙබ් අඩවි සහ මූලාශ්‍ර බවත්, රජයේ වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය, වගවීම හෝ ප්‍රකාශන හිමිකම් පිළිබඳ ගැටලු පැන නොනගින බවත් ඇය පෙන්වා දුන්නාය.​ඩිජිටල් භාවිතයේදී දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්ය සාධක බලකාය දැනටමත් අධ්‍යයනයක් සිදු කර ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ඇති අතර, එය ඉදිරියේදී ජාතික අධ්‍යාපන ආයතනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ආයතනයට කිසිදු මූල්‍යමය වාසියක් නොලැබෙන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගෙන් 92%ක් පමණ දැනටමත් අවශ්‍ය පුහුණුව ලබා ඇති බවද පැවසුවාය. පසුගිය මාසවල පැවති ආපදා තත්ත්වයන් හේතුවෙන් පුහුණුව අහිමි වූ ගුරුවරුන්ට පළමු සහ හයවන ශ්‍රේණිවල වාර ආරම්භයට පෙර එම පුහුණුව ලබා දීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.​මෙම අධ්‍යාපනික කටයුතු සඳහා අන්තර්ජාලය භාවිත කිරීම අනිවාර්ය නොවන බවත්, එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කිරීමට ගුරුවරුන්ට අවස්ථාව ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය. නව මොඩියුලවලට අදාළ සියලුම කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බැවින්, අන්තර්ජාල යෙදුම් (apps) මත යැපීමෙන් තොරව ඉගැන්වීම් කළ හැකි බව ඇය පැවසුවාය. කෙසේ වෙතත්, අනාගතයේදී සිසුන් ඇගයීම පරිගණක යෙදුමක් හරහා සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන් 2025 වසරේ සිටම ක්‍රියාත්මක කර ඇති බවත් ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම නැංවීමට ඉදිරියේදී තවත් පියවර ගන්නා බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

What's your reaction?

Related Posts

1 of 934

Leave A Reply

Your email address will not be published. Required fields are marked *