2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින, රජය මෙතෙක් අනාවරණය නොකළ සැබෑ මහ මොළකරු කවුරුන්ද යන්න එළඹෙන මාර්තු 31 වනදා රටටම හෙළි කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (16) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වසර එකහමාරක පමණ කාලයක් පුරා සිදුකළ පර්යේෂණ ඇසුරින් සකස් කළ ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීම’ නම් ග්‍රන්ථය එදින පස්වරු 3.30 ට කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදැක්වීමට නියමිත බවයි.පසුගිය වසර හතක කාලය පුරා පාස්කු ප්‍රහාරය විවිධ දේශපාලන අරමුණු සඳහා භාවිතා වූ බවත්, ඒ හරහා ආණ්ඩු පිහිටුවීමට මෙන්ම ආණ්ඩු පෙරළීමට කටයුතු කළ බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය. කිසිදු පදනමක් නොමැතිව රණවිරුවන් පවා පීඩාවට පත් කළ මෙම සිදුවීමේ සැඟවුණු සත්‍යය හෙළි කරමින්, මෙම වංචනික දේශපාලන ක්‍රියාවලියට තිත තැබීමට තමන් සූදානම් බව ගම්මන්පිල මහතා අවධාරණය කළේය.


























