පාස්කු ප්‍රහාරවලින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයෙන් දේශපාලන රැකවරණ පතන බව ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත වාර්තා කරයි. වාර්තාවට අනුව, මෙම නම හෙළි නොකළ ශ්‍රී ලාංකික රැකවරණ පතන්නා, 2019 පාස්කු දින මෙරට සිදු වූ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා 2022 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත්තේ සුඛෝපභෝගී හෝටල් සහ පල්ලි ඉලක්ක කර ගත් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසුවයි. ඔහු 2022 සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියට පැමිණ මාසයකට පසුව රැකවරණය ඉල්ලා ඇත. ඔහු සංක්‍රමණික විනිශ්චය සභාවට පවසා ඇත්තේ, තමන් ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පසු පොලිස් නිලධාරීන් තම පවුලේ නිවසට පැමිණි බවත්, තමා නැවත මෙරටට පැමිණියහොත් “පීඩාවට පත්වන බවට බියක්” ඇති බවත්ය. ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවට විශ්වාස කෙරේ. ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ රැකවරණ ඉල්ලීම මුලින් ස්වදේශ කටයුතු කාර්යාලය (Home Office) විසින් ප්‍රතික්ෂේප කර තිබුණද, ඔහු ඉහළ සංක්‍රමණික විනිශ්චය සභා අභියාචනයකින් ජයග්‍රහණය කර ඇති අතර, ඔහුගේ නඩුව දැන් නැවත විභාගයට ගැනීමට නියමිතය. මෙම පුද්ගලයා ජනවාරි 5, 2022 දින අත්අඩංගුවට ගෙන පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බවත්, “දැවැන්ත අල්ලස් මුදලක්” ගෙවීමෙන් පසුව නිදහස් කර ඇති බවත් ඉහළ විනිශ්චය සභා තීන්දුවක සඳහන් විය. ඔහු සැප්තැම්බර් 2, 2022 දින එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුව සැප්තැම්බර් 15, 2022 දින අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, නියෝජ්‍ය ඉහළ විනිශ්චය සභා විනිසුරු ක්ලෙයාර් බර්න්ස් තීන්දු කළේ පෙර නඩු විභාගයේදී වැරදි ගණනාවක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් තීරණය අවලංගු කළ යුතු බවත්ය. ස්වදේශ කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ, “සැක සහිත මෙම ත්‍රස්තවාදියා කිසි විටෙකත් බ්‍රිතාන්‍ය භූමියට නොපැමිණීම සහතික කිරීම සඳහා රජය මෙම රැකවරණ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මෙම තීරණය ශක්තිමත්ව ආරක්ෂා කිරීමට අපි කටයුතු කරනවා” යනුවෙනි.























